This web is for those who seek Higher Life, beyond the bounds of the worldly mind. All its messages are pointing out to Pure Consciousness, from which the Higher Life arises. Mr. A.S.Balasooriya is a well-known spiritual teacher, philosopher, poet and writer in Sri Lanka...

WEB RADIO BROADCAST

You can listen to Mr. Balasooriya's live broadcasts using the player located on the right. To listen to past broadcasts, please click here. To be informed of future broadcasts, please sign up for the newsletter above...

සතුට හඳුනා ගන්න

සතුට ගැන දැනට අප තුළ ඇත්තේ දළ අදහසකි. සතුටු වීමට යම් අභිප‍්‍රායක් ඉෂ්ට විය යුතුයි යන අදහස අප තුළ ඇත. සතුටෙන් ජීවත්වීම නම් පළමුකොට සතුට හඳුනා ගත යුතුය. විශාල සතුටක් අපට හඳුනා ගත හැකි නමුදු සියුම් සතුටු බොහෝ විට අපට හඳුනා ගත නොහැකි වේ. එහෙත් ජීවිතයෙහි බහුල ව පවතින්නේ සියුම් සතුටුයි. ඒවා හරියට ඔබ ස්වාභාවික පරිසරයක ඇවිද යද්දී පයට පෑගෙන කුඩා මල් මෙනි. ලොකු මල් සොයන ඇසට පා තබන බිමෙහි සැදි කුඩා පැලෑටිවල නොයෙක් පාටින් බබලන පුංචි මල් නොපෙනේ. අප ජීවිතයේ සියුම් සතුටු දහරා නොසළකා හරින්නේ ද එලෙසිනි.

සියුම් සතුටු හඳුනා ගෙන ඒවා වින්‍දනය කිරීම ඔබට භාවනාවක් සේ කළ හැකි ය. එය කළ හැක්කේ මෙසේ ය. නිර්බාධක සථානයකට ගොස් සිත විවේකයට පමුණුවා ගන්න. අතීතයට හෝ අනාගතයට සිතට යා නොදී වර්තමාන මොහොතට පැමිණෙන්න. සිතෙහි ගැටළු බර ඉවත හෙළා සැහැල්ලූ වන්න.

නිදහස් සිතෙන් මෙසේ සිටියදී ඔබට තම සිතෙන් සියුම් සතුටු දහරාවක් මතු වන සැටි අත්දැකිය හැක. සෑම අවස්ථාවක ම අප තුළ සියුම් සතුටක් යම් කිසි ගුණයකින්  මතු වෙමින් පවතියි. එය සංවේදීම හඳුනා ගන්න. සතුටෙහි ගුණ ඒ ඒ අවසථාව අනුව දේ දුන්නක වර්ණාවලියේ එක් එක් වර්ණ සේ විවිධ වේ.

තම අභ්‍යන්තරයෙන් නැගෙන ස්වාභාවික වූ නිරාමිෂ සතුටු දහරාව අත්දකිමින් එය ගැඹුරු අධ්‍යාත්මයෙන් විඳ ගන්න. මේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ඔබේ සිත ජීවිතයේ සතුටට වඩා සංවේදී වනු ඇත.

‘ඔය තත්‍වය වෙනස් වේවි’

එක් නරගයක වැඩ විසූ සාධුවරයෙකු හමු වීමට පැමිණි තැනැත්තෙක් තමා ඉතා අසරණ දුගී දුප්පත් තත්‍වයක සිටින බව පැවසුවේය. එය අසා සාධුවරයා ‘ඔය තත්‍වය වෙනස් වේවි’යි සාධුවරයා මෘදු හඬින් කීවේය.

ඊට වසර ගණනාවකට පසු ඒ තැනැත්තා නැවත සාධුවරයා වෙත පැමිණ මෙසේ කීය.

‘ස්වාමීනි, මා එදා අසරණ දුගියෙකු ලෙස ඔබ වෙත පැමිණ මගේ දුක කීවා. ඔබට මතකද? ‘ඔව්. මට ඔබ මතකයි‘ සාධුවරයා කීවේය

‘ස්වාමීනි, අද මේ නගරයේ වෙසෙන ධනවතුන් අතරින් මම ද කෙනෙක්. දැන් මා සුරක්‍ෂිතයි සැපවත්. සිතන පතන හැම දෙයක්ම මට තිබෙනවා. මේ බව ඔබතුමාට කියන්නටයි, මම ආවේ‘ ඔහු යි පැවසුවේය.

මොහොතක් නිහක්‍ෂව සිටි සාධුවරයා මෙසේ කීය.

‘ඔය තත්‍වය වෙනස් වේවි‘ හැම දෙයක්ම වෙනස් වන බවයි, පරම සත්‍යය.

'ඒ උගේ හැටි මේ මගේ හැටි'

භික්‍ෂූන් වහන්සේ දෙනමක් ගංගාවක ස්නානය කරමින් සිටියහ. දිය පහරේ ගෝනුස්සකු ගසා යනු දුටු එක් නමක්, ඌ අතින් අල්ලා ගල් තලය මත තැබූහ. අල්ලද්දී ගෝනුස්සා භික්‍ෂූන් වහන්සේගේ අතට දෂ්ඨ කළේ ය.

ස්වල්ප වේලාවකින් ගෝනුස්සා නැවත ගඟට වැටී ගසා යනු දුටු උන්වහන්සේ දෙවන වරට ද ඌ අල්ලා ගල්තලාව මත තැබූහ. එහිදී ද ඌ අතට දෂට කළේය.

තව සවල්ප වේලාවක් යන විට, නැවතත් ගෝනුස්සා ගඟට වැටුනි. තුන් වන වර ද බේරා ගන්නට යද්දී ඌ අතට දෂ්ට කළේය.

මෙය බලා සිටි දෙවන භික්‍ෂූන් වහන්සේ මෙසේ කීහ.

‘ඇයි ගෝනුස්සා මෙහෙම දෂට කරද්දීත්, නැවත නැවත ඔබ ඌ බේරා ගන්නට උත්සාහ කරන්නේ?’

‘මොකද කියනවා නම්‘ පළමුවන භික්‍ෂූන් වහන්සේ කීහ.

‘දෂට කිරීම උගේ ස්වභාවයයි. ඌව බේරා ගැනීම මගේ ස්වභාවයයි.

යහපත ප‍්‍ර‍්‍රමාද කිරීම

මෙය මරණය හා විනාශයට අධිපති මාරයා පිළිබඳ කතාන්දරයකි.

දිනක් මාරයා තම සේනාධිපතියන් හදිසි සාකච්ජාවකට කැඳවා, ‘ලෝක විනාශය දැනට වඩා වේගවත් කළ යුතුයැ’ යි විධානය කළේය.

‘ලෝකය විනාශය කරා යැවීමේ ලෙහෙසිම ක‍්‍රමය අද අපි තීරණය කළ යුතුයි.’ පැවසූ ඔහු ඒ සඳහා තම යෝජනා ඉදිරිපත් කරන ලෙස තම සෙනවියන්ට කීවේ ය.

පළමුව නැගී සිටියේ වෛරයයි. ඔහු මෙසේ කීය.

‘මම පියාට විරුද්ධව පුතා, ගුරුවරයාට විරුද්ධව ශිෂ්‍යයා, ස්වාමියාට විරුද්ධව සේවකයා සහෝදරයා, එක් ජනවර්ගයකට විරුද්ධව අනෙක් ජනවර්ගය, නැගී සිටීමට සළස්වා මිනිසුන් අවුලවන්නම්.‘ 

‘ඔව්. දැනටමත් ඔබ එය කරමින් සිටිනවා. මීට වඩා සූක්‍ෂම ක‍්‍රමයක් මට  ඕනෑ‘යි මාරයා කීවේය.

දෙවනුව නැගී සිටියේ කාමරාගයයි. ‘මම ආදරය මිනිසුන් අතරින් පිට මං කරන්නම්. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන මට්ටමට පමුණුවන්නම්‘

‘ඔබ එය දැනටමත් කරනු ලබන බැවින් එය අළුත් දෙයක් නොවෙයි’ මට ඔිනෑ අලූත් ක‍්‍රමයක්’’ මාරයා කීවේය.

තුන්වැනුව නැගී සිටියේ බීමත්කමයි. ‘මම මිනිසුන්ගේ සිහි බුද්ධිය විනාශ කරන්නම්. එවිට ඔවුන් දවසින් දවස විනාශය කරා යනවා ඇත’ 

‘මම සොයන්නේ, ඊටත් වඩා සූක්‍ෂම ක‍්‍රමයක්’ මාරයා නැවත අවධාරණය කළේය.

අවසානයෙහි නැගී සිටියේ මෑතකදී මාර සේනාවට බැඳුන උපසේනාධිපතිවරයෙකි. ඔහු තමා අදහස් කරන ක‍්‍රමය මෙසේ විස්තර කළේය.

‘ මම ධර්ම දේශකයෙකු වී ආගම ධර්මය දේශනා කරන්නම්. මම මහජනයාට පවෙන් වළන්න සිල් රකින්න, යහපත්වන්න විමුක්තිය සඳහා කි‍්‍රයා කරන්න ධර්මානුකූලව ජීවත් වන්න ආදී වශයෙන් දේශනා කරන්නම්’

ඒ අසා මාරයා විමතියට පත් විය. ’මොනවාද ඔබ ඔය දොඩන්නේ?  ඕවා අපේ රාජකාරි නොවෙයි.‘යි කීවේය.

‘ඉවසන්න, සවාමීනි. මගේ කතාව තව ඉවර නැහැ’යි ඔහු කීවේය. 

‘එහෙම යහපත දේශනා කරලා මම කියන්නම්. ‘ඔබට තව කල් තිබෙනවා. මේවාට ඉක්මන් වන්න  ඕනෑ නැහැ. යහපත්ව ජීවත්වීමට යහපත් සමාජයක් අවශයයි. යහපත් රාජ්‍යයක් අවශ්‍යයි යහපත් ආර්ථිකයක් අවශ්‍යයි රටේ සාමය අවශ්‍යයි. එබඳු යහපත් සමාජයක් එන තුරු දැනට ඔබ ප‍්‍රාර්ථනා කළාම හොඳටම ඇති’ 

එය අසා මාරයාගේ මුවගට සිනාවක් නැගිණ.

‘ඔබ බොහොම හොඳයි. ඔබේ යෝජනාව ඔබ වහාම ලෝකයට ගිහින් කි‍්‍රයාත්මක කර ලෝක විනාශය ඉක්මන් කරන්න‘ යහපත කල් දැමීම මාරයාගේ සියුම් උපක‍්‍රමයකි. ඔබ යහපත කල් දමන හැම විටම මාරයා සතුටු වෙයි. 

තම සත්‍ය සවභාවයෙහි පිහිිටීම

අප තමාගෙන් නිරන්තරයෙන් අසා ගත යුතු ප‍්‍රශ්නය නම්:

‘මේ මා ජීවත් වනුනේ මගේ සත්‍ය සවභාවයෙහි පිහිටා ද?’ යන්නයි.

මෙහිදී නැගෙන ප‍්‍රශ්නය ‘කුමක් ද තමාගේ සත්‍ය සවභාවය?' යන්නයි. එය සොයා ගැනීම සඳහා ඔබට තම අවධානය ස්වකීය චිත්ත අභ්‍යන්තරයට යොමු කර බැලීමට සිදු වේ.

මතුපිට සිතෙහි නිමක් නැතුව ඇති වන  සිතුවිලි  ඔබේ සත්‍ය ස්වභාවය ද? ඔබ අවුල්ව සිටින විට, අසහනකාරීව සිටින විට, ඔබ ජීවත් වන්නේ තම සත්‍ය සවභාවයෙන් ද?

තම සත්‍ය ස්වභාවය සොයා යන ගමන ගංගාවක පතුල කරා යටට කිමිද යෑම වැනි ය. නගරයක් පසුකර ගලා යන අපිරිසිදු ගංගාවක් වැනි ය. එහි මතු පිට පාවන්නේ කුණු කසලය. ඔබේ මතුපිට සිතෙහි නළියන්නේ ලෝකයෙන් එක්වූ කුණු කසලය. සමාජයෙන් ඔබේ සිතට පිවිසුණු තණ්හා, තරහ, අසහන, ආශා, කුණු කසල හා සමානය. ඒ ඔබේ සත්‍ය ස්වභාවය නොවේ. 

ඒ කසල තට්ටුව යටට කිමිද යන විට හමු වන්නේ, අපිරිසිදු ජල තට්ටුවයි. මේවා අර කසල නිසා ඇති වූ සිතුවිලි හා චේතනාය. අප තුළ පවතින සිතුවිලි ජාලය කිසිවිටෙක නිරවුල් කර ගත නොහැකි අවුල් ජාලයකි. නොවිසඳුණ ගැටළු, ඉෂට නොවූ අභිලාෂ හා ගැටුම්වලින් සිතුවිලි තලය නිරන්තරනේම පවතින්නේ සසල වූ මුහුදක් සේ නොසන්සුන්වය. මේ සිතුවිලි තලය ඔබේ සත්‍ය සවභාවය නොවේ.

ඒ ගංගාවේ තව යටට කිමිදෙන විට, මතුපිට වූ කිලිටි බව අනුක‍්‍රමයෙන් හීන වී යමින්, පිරිසිදු ජල තට්ටු හමු වේ. අර කිලිටි දියෙහිදී දැනුන අපහසුව ඒ සමග හීන වී, යම් සුවයක් ඔබට දැනෙන්නට පටන් ගනියි. සිතෙහි ද ගැඹුරට යන විට, ඔබ අත්දකින්නේ සන්සුන් ජීව ගුණයයි. සිත සන්සුන් වීමත් සමග, පෙර නොවූ මෙතෙක් යටපත්ව තිබූ සිහි නුවණ, පැහැදිලි බව, සංවේදිතාව මතුවන්නට පටන් ගනියි.

තව දුරටත් ගංගාවේ ගැඹුර පතුල කරා කිමිද යද්දී අවසානයෙහි ඔබ එහි නිර්මල ජල ධාරාව කරා පැමිණෙන්නෙහිය.

ඒ අයුරින්ම, සිතෙහි ගැඹුරුතම පත්ලට පැමිණි විට ඔබට තම නිර්මල චිත්ත සවභාවය හමුවේ. පෙර තමා අත්විඳි කිළුටු, ගැටුම්කාරී, අසහනකාරී සිතුවිලින් මිදුණු නිදහස් බවක් ඔබ එහිදී අත්දකියි. එහිදී ඔබේ සිහිය මුළුමනින්ම විවෘතය. මේ ඔබේ ප‍්‍රභාශ්වර වූ සත්‍ය සවභාවයයි. ඔබ එය සොයා ගත හොත් එතැන් සිට ඔබට වැදගත් වන්නේ ඒ සත්‍ය සවභාවයෙහි පිහිටා ජීවත්වීමයි.

අනාගත මිනිස් පරපුර කෙරෙහි අපේ වගකීම

ජන සමාජයක් වශයෙන් බලන විට අපි ඉතා නාස්තිකාර ජීවිතයකට හැඩ ගැසෙමින් සිටින්නෙමු. ‘නාස්තිකාර’ යන්නෙන් මා අදහස් කරන්නේ, පෘතුවියේ අගනා සවභාවික සම්පත් හිතුක්කාරව හා සීමාන්තිකව පරිභෝජනය කිරීමයි. වර්තමානයෙහි වාණිජ්‍යය විසින් සමාජය අධි සුඛෝපභෝගීත්‍වය කරා යොමුකරනු ලබන සැටි පැහැදිලිය. විශේෂයෙන් නාගරික ජනයා කෙරෙහි මේ නැඹුරුව වඩා විද්‍යාමාන වේ.

අප අධිසුඛෝපභෝගය ලබන්නේ සවාභාවික සම්පත් වන පැට්‍රෝලියම්, යකඩ, තඹ, රිදී, වැලි, දැව මහා පරිමාණයෙන් පරිභෝජනය කිරීමෙනි හා ඒවා නිෂ්පාදනය කිරීමේදි ජලය, වාතය, පස, පෘතුවි දේශගුණය දූෂණය වේි. දැනටමත් ගල් අඟුරු වැනි ඛණිජ නිධි මුළුමනන්ම හාරා නිම කර දමා ඇත.

අප අත් විඳින අධිසුඛෝපභෝගීත්‍වය නිසා අපේ නෙත් උද්දාමයෙන් නිලංකාර වී තිබේ. නිදසුනක් වශයෙන් ඉහත කී ස්වාභාවික සම්පත් ඉදිරි මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඉතිරි කර තැබීම ඒ පිළිබඳ අල්පමාත‍්‍ර වූ හෝ හැඟීමක් අපට නැත. අපම මේවා පරිහරණය කර නිම කර දැමීම සාධාරණද? අනාගත පරපුර මේ යුගයේ වෙසෙන අප ‘නාස්තිකාරයෝ වූහ’යි දොස් නඟනු නිසැකය.

මෙසේ ස්වාභාවික සම්පත් අහිමි වී යෑමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් අනාගත පරපුරට සරල දිවිපැවැත්ම මුල්කර ගත් ජීවන රටාවක් ඇති සමාජයක් කරා යෑමට සිදු වනු ඇත.

භෞතික සම්පත් පරිභෝජනයෙන් ලබන සැප හා පහසුකම් වෙනුවට, මානසික හා ආධ්‍යාත්මික සුවය මුල් කර ගත් සරල ජීවන රටාවකට ඔවුන් යොමු වනු ඇත. එහෙත් මේ පරිවර්තනය ඔවුන්ට ඉතා වේදනාකාරී අත්දැකීමක් වනු නිසැකය.

අනාගත පරපුර සඳහා ස්වාභාවික සම්පත් සංරක්‍ෂණය කිරීමට සියළු රාජ්‍යයන් නොපමාව කි‍්‍රයා ආරම්භ කළ යුතු අවධිය පැමිණ ඇත. දැනටමත් එය කල් පසු වී තිබේ.

ස්වාභාවික සම්පත් පරිහරණය අවම කිරීමට නීති රීති පැනවීම වහා සිදුවිය යුත්තකි. මෙහිදී මනුෂ්‍ය වර්ගයාගේ අනාගත සුභ සිද්ධිය උදෙසා ඔබ හා මට පුද්ගලයන් වශයෙන් කළ හැක්කේ සරල ගති පැවැතුම්, අල්පේච්ජතාව හා ආධ්‍යාත්මික සුවය මුල්කර ගත් ජීවන රටාවක් කරා යෑමයි.

අරමුණ වරද්දා ගැනීීම

එක්තරා භික්‍ෂූන් දෙනමක්, යම් නිවසකින් කරන ලද ආරාධනය අනුව, එහි ආගමික චාරිත‍්‍රයක් පවත්වනු පිණිස එහි වැඩම කළහ. එය කෙතරම් දුගී නිවසක් වී ද යත්, උන්වහන්සේලාට වැඩ සිටීමට එක් අසුනකුදු එහි නොවී ය.

ඉන් එක් භික්‍ෂූන් වහන්සේ නමක් අමනාපයට පත් ව, ගෙහිමියාට දොස් නගන්නට සූදානම් වූහ. එය දුටු අනෙක් නම, ‘ඇවැත, අපි බිම හිඳ ගනිමු. අප මෙහි පැමිණියේ ආසන්වල හිඳ සිටීමේ අරමුණින් නොවේ’යි කණට කොඳුරා පැවසූහ.

මේ කතා පුවතින් වැදගත් පණිවුඩයක් අපට ලැබේ. එනම් අප ගත් අරමුණු පහසුවෙන් අමතක වීමේ හැකියාවක් ඇති බවයි. බොහෝ විට, අපට සිදු වන දෙයක් නම් යම් අරමුණක් මුල් කර ගෙන, යම් කාර්යයක් ඇරඹුව ද මග දි එන ප‍්‍රශ්න නිසා, ඒ අරමුණ අමතක වී වෙනත් අරමුණක් ඔස්සේ යෑමට පටන් ගැනීමයි.

මිනිසුන්ගේ බොහෝ ගැටලූවල මුල සොයා යද්දී හමුවන්නේ, ඒවා මුල් අරමුණු වරද්දා ගැනීමේ හේතුවෙන් පහළ වූ දේ බවයි. තමාගේ අරමුණ, කවර තත්ත්වයට යටතේ වුව පෙරටුව තබා ගැනීම අවශ්‍ය ය. ඔබ ජීවිතයට ආදරය කරන්නෙහි නම් ජීවිතයෙහි මා සතු වටිනා ම සම්පත මක් දැයි යමෙකු ඇසුවහොත්, මා දෙන පිළිතුර ‘මේ මොහොතය’ යන්නයි. ජීවිත යැයි කියන්නේ, වසර හැට හැත්තෑවක් පමණ වූ කාල පරාසයක් නොවේ. ජීවිතය ඇත්තේ ක්‍ෂණ මාත‍්‍ර වු මේ මොහොතෙහි ය. මෙය තේරුම් ගත් විට, මේ මොහොත අපතේ නොහැරීමට මහත් සැලකිල්ලක් පහළ වේ. එවිට, මේ මොහොතේ පරිපූර්ණ ව ජීවත්වීමට, ක‍්‍රියා කිරීමට, කළ යුත්ත නොපිරි හෙළා කිරීමට, සතුටින්, සෑහීමෙන් හා සාමයෙන් සිටීමට තමාට මහත් වගකීමක් තමාට ඇති බව හැෙඟයි.

ජීවිතයට ඔබ ආදරය කරන්නේ නම්, ඔබ එය කළ යුත්තේ, මේ මොහොතේ පරිපූර්ණ ව ජීවත්වීම තුළින් ය.

- ඒ එස් බාලසූරීයන්ගේ දේශන ඇසුරෙනි